කලාව තුළ ස්ත්‍රිය සක්‍රීය වීම: නදීකා බණ්ඩාරගේ තෙත් භූමි

– නදීකා බණ්ඩාරගේ “තෙත් භූමි” දෙසැම්බර් 28 දින ප.ව. 7.00 ට කොළඹ නව නගර ශාලාවේදී රඟදැක්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පබ්ලෝ නෙරූඩා ලංකාව ගැන ලියූ මතක අතර මා සෑම විටම අපහසුතාවට ලක්කරන මතකයක් ඇත. ඒ ඔහු තම වැසිකිලි බාද්ලිය සුද්ධ කිරීමට පැමිණි ස්ත්‍රිය පිළිබදව ලියූ කොටසයි. දිගින් දිගටම මෙම ස්ත්‍රිය – අපි ඇගේ නම නොදනිමු – ඉන්දියාවේ ලෝකඩ පිළිමයකට සමාන කරන ඔහු, ඇය පිළිබද විවිධ අනුමානයන් කරයි. ඇයට ගෙනයාම පිණිස තාප්පය අසල සිල්ක් රෙදි සහ පළතුරු තබයි! ඇය ඒවා දෙස බලන්නේ නැත. ඇයව විස්තර කිරීමට ඔහු භාවිත කරන්නේ “ලැජ්ජාශීලී වනයේ සතෙකු,” “අඳුරු පිළිමයක්” වැනි වැකිය. මේවා තුළින් ඇයව සත්වයෙකු සහ භාණ්ඩයක් ලෙස නිර්මාණය කරන අතර එයින් බැහැර වන්නේ ඇගේ මනුෂ්‍යත්වයයි (නෙරූඩාගේ මේ ලියවිල්ල විජිතවාදී කතිකාවක් තුළ ස්ථානගත කළ හැකි අතර ෆ්‍රාන්ට්ස් ෆැනොන් සහ එඩ්වර්ඩ් සයීඩ්ගේ පශ්චාත් විජිත න්‍යායයන් තුළ “අනෙකා” නිර්මාණය වන ආකාරය පිළිබද කරන විචාරයන් හරහා විමර්ශනයට ලක් කළ හැකි වුවත් මේ ලිපියේ අරමුණ එය නොවේ). මෙලෙස විවිධාකාර ලෙස ඇයව විස්තර කරමින්, ඇය පිළිබද යම් ආකාරයක දැනුම් පද්ධතියක් නිපදවමින් නෙරූඩා මෙම ස්ත්‍රිය පිළිබද ඇති පුරුෂ ෆැන්ටසිය තවත් අදියරකට ගෙන යයි:

“එක් දිනක් මම සම්පූර්ණ දුරම යාමට තීරණය කළෙමි. ඇගේ අත තදින් අල්ලා ගත් මම ඇගේ දෙනෙත් දිහා බලා සිටියෙමි. ඇය    සමග කතා කිරීමට මට භාෂාවක් නොවීය. සිනාවක් රහිතව, ඇයව රැගෙන යාමට ඇය ඉඩ දුන් අතර ඉක්මණින්ම ඈ මගේ ඇද උඩ නිරුවත්ව සිටියාය. ඉතාම සිහින් වූ ඇගේ මැණික් කටුව, ඇගේ පූර්ණ උකුළ, පරිපූර්ණ වූ ඇගේ පියයුරු ඇයව දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පුරාණ වූ පිළිමයක් බවට පත් කළේය. එය පිරිමියෙකුගේ සහ පිළිමයක එක් වීමක් විය. මුළු කාලය තුළම ඇගේ දෑස් විවෘතව තබා ගත් ඈ කිසිම ආකාරයක ප්‍රතිචාරයක් නොදැක්වූවාය. මා පිළිකුල් කිරීමට ඇයට අයිතියක් තිබිණි. එම අත්දැකීම නැවත සිදු කෙරුණේ නැත.”

නෙරූඩාගේ ලියවිල්ලේ මෙම කොටස සෑමවිටම මා අපහසුතාවට පත් කළේය. මේ ආකාරයේ ප්‍රචණ්ඩ සහ බලහත්කාරී ලිංගික ක්‍රියාවක් රොමෑන්තික ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න මට ප්‍රශ්නයක් විය. විජිතවාදී සන්දර්භයක් තුළ ලාංකීය ස්ත්‍රියක්, කළු සමැති ස්ත්‍රියක්, දෙමළ, අඩු කුලයේ ස්ත්‍රියක් වීම නිසා මේ ස්ත්‍රිය තල ගණනාවකදී පීඩනයට පත්වේ. මේ සියල්ල සිද්ධ වන විටදී නෙරූඩාට අනුව ඇය කිසිවක් නොකියයි, ඇය නිෂ්ක්‍රීයයි. නමුත් පරස්පර විරෝධී ලෙස ඇගේ බලය මතු වන්නේද මේ නිශ්ශබ්දතාව හා නිශ්චලතාව නිසා බව යම් ආකාරයකට පෙනෙන්නේ නෙරූඩා නැවතත් මේ ක්‍රියාව නොකළ බව ප්‍රකාශ කරන බැවිනි. නමුත් තම ප්‍රචණ්ඩ, ලිංගික ක්‍රියාව අලංකාර, කාව්‍යාත්මක වචනවලින් ආවරණය කොට, එය තමාගේ දෛනික ජීවිතයේ එක් කොටසක් ලෙසත් එවැනි සිද්ධියක් සාමාන්‍ය දෙයක් ලෙසත් ඉදිරිපත් කරන ආකාරය ප්‍රශ්නකාරීය. නෙරූඩාගේ කතිකාව ගොඩ නැගෙන්නේ විරෝධය නොදක්වන, නිෂ්ක්‍රීය, නිශ්ශබ්ද, අදුරු පිළිමයක් ලෙස විස්තර කෙරෙන ස්ත්‍රියක් හරහාය. සිය පුරුෂත්වය සහ බලය ඔහු කඩා පාත් කරන්නේ සෑම උදෑසනකම තමාගේ අසූචිවලින් පිරුණු බාල්දිය හිස මත තබාගෙන ගොස් පිරිසිදු කරන කුලයෙන් අඩු සේ සලකන ස්ත්‍රිය මතය.

නෙරූඩාගේ ෆැන්ටසිය ශතවර්ෂ ගණනාවක් පුරා ස්ත්‍රීන් පිළිබදව ලියැවුණු, ඔවුන් පිළිබද නිර්මාණය කෙරුණු කෘති හා චිත්‍ර සමග සම්බන්ධ වේ. වීනස් දෙව් දුවගේ සිට පෝල් ගොගෑන්ගේ ටහීටී ස්ත්‍රීන් දක්වා විහිදෙන්නේ නිෂ්ක්‍රීය ලෙස, අතැම් විට ලැජ්ජාසහගත වසඟකාරිත්වයකින් ප්‍රේක්ෂකයා දෙස බලා සිටින ස්ත්‍රීන්ය (මේ ආකෘතිවලින් පිටත සිටි චිත්‍ර ශිල්පිනීන් සහ ශිල්පීන් සුළුතරයක් ඇත). ස්ත්‍රිය (නිෂ්ක්‍රීය) භාණ්ඩයක් ලෙස, නැරඹීම සදහා (විශේෂයෙන්ම පුරුෂ බැල්ම) සදහා නිර්මිත දෙයක් ලෙස නිර්මාණය කරන කතිකාව අතික්‍රමණය කිරීමටත්, ස්ත්‍රිය සක්‍රීය කිරීමටත් මේ ශතවර්ෂ මුළුල්ලේම විවිධ කලා ශිල්පිනියන් සහ ශිල්පීන් උත්සාහ ගෙන ඇත. 1931 දී නෙරූඩාගේ ලියවිල්ලෙන් අවුරුදු හතළිහක් ඉදිරියට පැමිණ, කැරොලි ශ්නීමන්ගේ කලා කෘති දෙස බලනු කැමැත්තෙමි. චිත්‍ර ශිල්පිනියක් වන ශ්නීමන්, ශත වර්ෂ ගණනාවක් පුරාවට ස්ත්‍රිය නිෂ්ක්‍රීය කර, භාණ්ඩයක් ලෙස නිරූපණය කිරීම ප්‍රශ්නකාරී ලෙස දැක, එය වෙනස් කිරීමට උත්සුක වන්නේ තමන්ගේම ශරීරය කැන්වසය තුළට ඇතුළත් කර ගනිමිනි. එවිට මෙතෙක් කල් කැන්වසයේ පිරිමි බැල්මට ලක් වූ, වසඟකාරී, නිෂ්ක්‍රීය ස්ත්‍රියගේ ස්ථානය ගන්නා ඇය, විවිධ වර්ණ, මඩ ආලේප කරගත් විවිධ වූ දේවල් අලවා ගත් ඇගේ නග්න ශරීරය කැන්වසයේ කොටසක් බවට පත් කරගනිමින් තමාගේ නිර්මාණය නරඹන ප්‍රේක්ෂකයා තම බැල්මට හසු කර ගනී. ඇය තමා දෙස බලන ප්‍රේක්ෂකයා දෙස බලා සිටී. ඇය තවදුරටත් නිෂ්ක්‍රීය නැත, ඇය සක්‍රීයය.

තම කලාකෘති හරහා තමන් කලාකෘතියේ විෂය සේම තේමාව බවටද පත් වන බව මෙහිදී ශ්නීමන් ප්‍රකාශයට පත් කරයි. එවිට ඇගේ කෘතිය චිත්‍රයක් සේම අභිවහන කලාකෘතියක් (performance art) බවටත් පත්වේ. ස්ත්‍රීන් “බැහැර කරවන වියුක්ත ප්‍රකාශනවාදයේ අගනා පෘෂ්ඨවලට මා පහරදුන් විට, මගේ මුළු ශරීරයම කැන්වසය කඩාගෙන සැබෑ කාලය සහ අවකාශය තුළ අනෙක් පසින් මතුවූයේ ක්‍රියාකාරී සහ ක්‍රියාකාරීකරවන ආකෘතියක් ලෙසටය” යන්න ඇය ප්‍රකාශ කරයි. තවදුරටත් ස්ත්‍රිය තමාව නිරූපණය කරන තෙක් බලා සිටිය යුතු නැත. ඇය තමාවම කලාකෘතිය ලෙසත් එහි නිර්මාපකයා ලෙසත් ස්ථානගත කර ගනී. එය සක්‍රීය ක්‍රියාවලියකි.

නදීකා බණ්ඩාරගේ තෙත් භූමි කෘතිය ස්ථානගත කිරීමට සිදු වන්නේ මෙවැනි කලා සන්දර්භයක් තුළය. එය යම් ආකාරයක රංගනයක් වනවා සේම අභිවහන කලාවටද යම් ආකාරයක සම්බන්ධයක් දක්වයි. කැන්වසය කඩාගෙන එය තුළින් මතු වී ප්‍රේක්ෂකයා දෙස තියුණු ලෙස බලා සිටි ශ්නීමන් මෙන්ම නදීකා බණ්ඩාරද ප්‍රේක්ෂකයා දෙස තියුණු බැල්මක් හෙළයි. ඇගේ කෘතිය තුළ ස්ත්‍රියව නොනවත්වා, දීර්ඝ ලෙස ප්‍රචණ්ඩත්වයට ලක්වන ආකාරය නිරූපණය වේ. බලහත්කාරී ලිංගික ක්‍රියාවල සිට, ඔසප් වීම, දරුවන් වැදීම, ගබ්සාවන්  වැනි ස්ත්‍රීන් මුහුණ දෙන අවස්ථා හරහා ප්‍රේක්ෂකයාව ගෙනයයි. එම රංගනය කුරිරුය, ප්‍රචණ්ඩය. කුරිරු රංගය කෘතියේ අන්තොනින් ආර්තෝ මේ ආකාරයේ අදහසක් ඉදිරිපත් කරයි:

කිසිවක් තුළ නොපවතින, නමුත් අංග චලන, ශබ්ද, වචන, විලාප, ආලෝකය, අදුර යන සියලුම දේවල් උපයෝගි කරගන්නා රංගය නැවත තමන් සොයා ගන්නේ මනසට ස්වකීය ප්‍රකාශනයන් එළි දැක්වීමට භාෂාවක් අවශ්‍ය වන මොහොතේදීමය. ජීවිතය ස්පර්ශ කිරීම පිණිස භාෂාව කඩා බිද දැමීම, රංගය නිර්මාණය කිරීමක් සහ ප්‍රතිනිර්මාණයක් වේ.

කුඩා කල සිටම පවුල, පාසැල, විවාහය වැනි හෙජමොනික සමාජ යාන්ත්‍රණ තුළ හසුරවනු ලබන ස්ත්‍රී ශරීර, දරුවන් ලැබීමට රෝහලට යන ස්ත්‍රින්ගේ ශරීර, ගබ්සාවට මුහුණපාන ස්ත්‍රිය, සංස්කෘතික කතිකා තුළත් වැඩිහිටි චිත්‍රපට සහ විවිධාකාර වූ තවත් සමාජයේ යාන්ත්‍රනයන් තුළ ස්ත්‍රියගේ ශරීරය පාලනයට ලක්කළ යුතු, පාලනය කළ යුතු දෙයක් ලෙස නිර්මාණය කෙරෙන, දකින ආකාරය නදීකා පෙන්නුම් කරන්නේ එ්වා වසාගෙන ඇති රොමෑන්තික මානයන් පාසාරු කරමිනි. කුරිරු රංගය කෘතියේ ඇන්තොනින් ආර්තෝ පෙන්වා දෙන පරිදි සංස්කෘතිය සහ සදාචාරයේ ආවරණ ඉරා දමා ඇතුළාන්තයෙන්ම නැගෙන විලාප, චලන සහ හැගීම් සමුදායක් තෙත් භූමි හරහා ඉදිරිපත් කෙරේ. එය “ලස්සන” රංගයක් නොවේ. රුධිරය ගලා යන, කෑ ගැසීම්වලින් පිරි, ස්ත්‍රිය සෑම මොහොතකම මුහුණ පාන ප්‍රචණ්ඩත්වය පිළිබද ප්‍රකාශනයකි. මුල, මැද අග සහිත නාට්‍යයක් නැරඹීම කෙනෙකුගේ අභිප්‍රාය වූයේ නම්, මෙය එම බලාපොරොත්තුව සුන් කරන කෘතියකි.

සමූහ ස්ත්‍රී ලිංගික හිංසනයන් වැඩිහිටි නාලිකා හරහා නරඹන සහ රසවිදින පිරිස් සිටින සන්දර්භයක් තුළ (මේ මස මුලදී ඉන්දියාවේ සිද්ධ වූ දරුණු සමූහ ස්ත්‍රී ලිංගික හිංසනය සහ මිනී මැරීම වැඩිහිටි නාලිකාවල වැඩි වශයෙන් නරඹා ඇති බව වාර්තා වේ), එම හිංසනයන් පුරුෂ ෆැන්ටසියක් බවට පත්වන සන්දර්භයක් තුළ නදීකා ඇතුළු පිරිස එම ෆැන්ටසිය කඩා බිද දමති. ශ්නීමන් කැන්වසය කඩාගෙන ප්‍රේක්ෂකයා දෙස බලා සිටි ආකාරයට, නදීකා නාට්‍ය කලාව සහ අභිවහන කලාව අතර දෝලනය වන “තෙත් භූමි” රංග කාර්යය හරහා නැවත නැවතත් ප්‍රචණ්ඩත්වයට ලක්වන ස්ත්‍රී ශරීරය ප්‍රේක්ෂකයාට සම්මුඛ කරවයි. එය කළුවර ප්‍රේක්ෂකාගාරයක් තුළ පහසුවෙන් අසුන් ගෙන නැරඹිය හැකි රංගනයක් නොවේ. එය සෑම දිනකම ස්ත්‍රිය මුහුණපාන ප්‍රචණ්ඩත්වය සහ නිෂේධනය අත්දැකීමට සිදුවන මොහොතකි. මෙම රංගනය ගැහැණියගේ පැවැත්ම පිළිබදවම ප්‍රශ්නයකි. සමාජ සත්වයෙකු වශයෙන් ඇයව දකිනු ලබන ආකාරය, ඇගේ ශරීරය ප්‍රචණ්ඩත්වයට ලක්වන ආකාරය ගැන අදුරු ප්‍රකාශනයකි. එය සෑම ආකාරයකම පුරුෂ ෆැන්ටසි බිද දමන්නකි. නිෂ්ක්‍රීය කර ඇති, බොහෝ විට දෙවැනි ගණයට දමා ඇති ස්ත්‍රිය ප්‍රේක්ෂකයාට අභිමුඛ කරවීමකි. ලාංකේය නාට්‍ය/අභිවහන කලාව තුළ සිද්ධ කරන පෙරළියකි.

– කංචුකා ධර්මසිරි

ඡායාරූප : ඉෂාරා ධනසේකර

පිරිමින්ට ඔසප් වුණොත් – ග්ලෝරියා ස්ටයිනම්

ග්ලෝරියා ස්ටයිනම්

සුදු හමෙන් වෙන එක ම දේ වැඩි වැඩියෙන් පාරජම්බුල කිරණවලට නිරාවරණය වෙන එකයි, හම රැළිවැටෙන එකයි විතරක් වුණත්, ලෝකේ සුදු මිනිස්සු සුළුතරයක් සුදු හම මාරයි කියල හිතවන්න සියවස් ගාණක් පුරාවට අපට ලණු ගිල්ලලයි තියෙන්නේ. ශිෂ්ණය වගේ ආරක්ෂාවක් නැති ශරීර අවයවයක් තියෙන හින්දා පිරිමි වැඩියෙන් අනතුරුවලට ලක්වෙන්න තියෙන අවදානම වැඩියි කියලා කියන්න පුළුවන් වුණත්, දරුවන් වදන්න තියෙන බලය නිසා අඩුතරමේ ගර්භ ඊර්ෂ්‍යාව තාර්කිකයි කියලා කියන්න පුළුවන් වුණත්, ශිෂ්ණ ඊර්ෂ්‍යාව ගැහැණුන්ට “ස්වාභාවික” දෙයක් ය කියන අදහස වටේ පිරිමි මනුස්සයන් එහෙම පිටින්ම සංස්කෘති හදාගෙන තියෙනවා.

කෙටියෙන් කියනවානම්, බලය තියෙන අයගේ ලක්ෂණ, ඒවා මොනවා වුණත්, බලය නැති අයගේ ලක්ෂණවලට වඩා යහපත් හැටියට සැලකෙනවා. ඕකට තාර්කිකත්වය එක්ක කිසිම සම්බන්ධයක් නෑ.

හිටි අඩියේම, ආශ්චර්යවත් විදිහට, පිරිමින්ට ඔසප් වෙලා ගෑණුන්ට ඔසප් නූනොත් මොකක් වෙයිද?

පිළිතුර පැහැදිලියි – ඔසප් වීම ඊර්ෂ්‍යාව ඇතිකරන, පම්පෝරි ගහන්න වටින, පිරිමි දෙයක් වේවි: දවස් කීයක් ද කොච්චර ද වගේ දේවල් ගැන පිරිමි ලොකු ටෝක්ස් දේවි.

කොල්ලෝ තමුන්ගේ ඔසප් වීමේ සමාරම්භය, අර පුලපුලා බලා සිටි පිරිමිකමේ සහතිකය, ආගමික වතාවත් සහ ස්ටැග් නයිට්ස්වලින්1 සලකුණු කරාවි.

මාසික ව හටගන්නා අපහසුතාවන් දුරුකරන්න ජනාධිපති අරමුදලින් දුරාර්තවය පිළිබඳ ජාතික ආයතනයක් සඳහා අරමුදල් සම්පාදනය කරාවි.

සනීපාරක්ෂක සැපයුම් රාජ්‍ය අනුග්‍රහයෙන් නොමිලේ සම්පාදනය කෙරේවි. (එහෙම තිබියදීත් ඇත්තට ම සමහර පිරිමි විජය ටැම්පූන්ස්, එම්. එස්. ධෝනි හෙලිකොප්ටර් පෑඩ්ස්, “ඒ සැහැල්ලු තනිකඩ දිනවලට” සංගා ජොක් ශීල්ඩ්ස්, සහ “වන්ෂොට්” රාමනායක මැක්සි පෑඩ්ස් වැනි බ්‍රෑන්ඩ් නේම්ස් වෙනුවෙන් සල්ලි ගෙවන්නත් ඉදිරිපත් වේවි.)

හමුදාවේ සේවය කරන්න (“ඔබ ලේ හලන්න නං ඔබ ලේ දිය යුතු යි”), දේශපාලනයේ නිරත වෙන්න (“කුජ ග්‍රහයාගෙන් පාලනය වෙන ඒ ස්ථිරසාර චක්‍රය නැතුව ගෑණු කොහොම ද ආක්‍රමණශීලී වෙන්නෙ?”) මහණ වෙන්න සහ පූජකවරය ගන්න (“ගෑණියෙක් කොහොමද අපේ පව්වලට ලේ දෙන්නෙ?”) පූසාරිලා වෙන්න (“මාසික ව කිලි හේදිලා යන්නෙ නැති හින්දා ගෑණු හැමතිස්සෙම අපිරිසිදු යි”) හැකියාව තියෙන්නේ පිරිමින්ට විතරක් බව සනාථ කරන සහතිකයක් හැටියට මිලිටරි පිරිමි, දක්ෂිණාංශික දේශපාලනඥයෝ සහ ආගමික මූලධර්මවාදියෝ ඔසප් වීම ගෙන හැර පාවි.

ඒ කොහොම වුණත් රැඩිකල්වාදී පුරුෂයෝ, වාමාංශික දේශපාලකයෝ සහ ගූඪවාදියෝ ගැහැණු පිරිමින්ට සමානයින් බවත්, ඔවුන් අතර ඇත්තේ හුදු වෙනසක් පමණක් බවත් අවධාරණය කරාවි. හැම මාසෙක ම දරුණු තුවාලයක් තමන්ට ම කරගන්න සූදානම් නම්, (“ඔබ විප්ලවයට ලේ දිය යුතු ම යි”), ඔසප් වීම ආශ්‍රිත ගැටලුවල උදාරත්වය පිළිගන්න සූදානම් නම්, එහෙමත් නැත්නම් සිය පුද්ගලභාවය ප්‍රබුද්ධතා චක්‍රය තුළ වොරැඳෙන සකල විධ පුරුෂයින්ට යටත් කරන්නේ නම් ඕනෑ ම ගැහැණියකට ඔවුන්ගේ ගොඩට එකතු වෙන්න පුළුවන් බවත් අවධාරණය කරාවි.

පාරෙ ඉන්න පොරවල් පම්පෝරි ගහාවි (“මම පෑඩ් තුනේ මිනිහෙක්”) නැත්නම් යාලු බුවෙක්ගෙ ප්‍රශංසාවකට (“පට්ට ලුක් එක මචෝ!”) පහක් දාල “ඔව් මචං මං රෙදිකඩේ දාල ඉන්නෙ!” කියල උත්තර දේවි. රූපවාහිනී වැඩසටහන් මේ මාතෘකාව ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරාවි. (එක දිගට දෙපාරක් ම ඔසප් වීම මග ඇරුණත් සුදු මල්ලි තාමත් “සුදු මල්ලී”ම බව ඒත්තු ගන්නන්න පොඩි මල්ලියි චූටි මල්ලියි වෑයම් කරාවි) ඒ වගේම තමයි පත්තරත් (“ඔසප් වෙන පිරිමින්ට එරෙහි වල් අලි තර්ජන ඉහළ යයි.” “මාසික ආතතිය හේතුව ලෙස දක්වමින් දූෂකයාට විනිසුරු සමාව දෙයි.”) ඒත් එක්කම චිත්‍රපට (ගාමිණි සහ ටෝනි රඟන “ලේ සොයුරෝ”!).

“මාසේ අර දවස්වලට” සංසර්ගය වඩාත් ආස්වාදජනක බව පිරිමි ගෑණුන්ට ඒත්තු ගන්නාවි. ලෙස්බියානුවො ලේ වලට බය බවත් එනිසා ම ඔවුන්ට ජීවිතේ ගැනමත් භීතිකාවක් තියෙන බවත් සැලකේවි – බොහෝ විට ඔවුන්ට අවශ්‍ය හොඳ ඔසප් වෙන පිරිමියෙක් වුණත්.

සත්තකින් ම පිරිමි බුද්ධිමත්තු අතිශයින් ම සදාචාරාත්මක සහ හේතුවාදී තර්ක ඉදිරිපත් කරාවි. නිදසුනක් විදිහට ගැහැණියෙක් චන්ද්‍රයාගේත් ග්‍රහයන්ගේත් චක්‍රය මැනීමේ හැකියාව සහ එනයින් ඕනෑ ම දෙයක් මැනීමට උපතින් ලද හැකියාව නොමැතිව කාලය, අවකාශය, ගණිතය හෝ මිනුම් පිළිබඳ හැඟීමක් අවශ්‍ය වන විෂයයක් ප්‍රගුණ කරන්නේ කෙසේ ද? දර්ශනය සහ ආගම වැනි දුර්ලභ ක්ෂේත්‍රයන්හි දී විශ්වයේ රිද්මය අහිමි වීමේ පාඩුව ගැහැණුන්ට පිරිමසාගත හැකි ද? නොඑසේ නම් සෑම මසක ම සංකේතාත්මක මරණය-සහ-පුනර්ජීවනය නොමැති වීම පිරිමසාගත හැකි ද?

හැම ක්ෂේත්‍රයකම ඉන්න ලිබරල් පිරිමි කාරුණික වෙන්න උත්සාහ දරාවි: “මේ උදවියට” ජීවිතය කිරා මැනගැනීමට හෝ විශ්වය හා සම්බන්ධ වීමට භාග්‍යය නොමැති වීම නමැති කරුණ ම ප්‍රමාණවත් දඬුවමක් බව ලිබරල්වාදියෝ පැහැදිලි කරාවි.

ඉතින් මේකට ප්‍රතිචාර දක්වන්න ගෑණුන් ව කොහොම පුහුණු කරාවි ද? කෙනෙකුට හිතාගන්න පුළුවන් සාම්ප්‍රදායික ගැහැණු ස්ථිරසාර සිනාබර ස්වපීඩාකාමයකින් මේ හැම තර්කයකට ම එකඟ වෙන හැටි. (“සෑම මසක ම තමා ම තුවාල කරගැනීමට සමාන අවස්ථා පනත මගින් ගෘහණීන්ට බල කරනු ඇත” : ෆිලිස් ශ්ලැෆ්ලි.2  “ඔබේ සැමියාගේ රුධිරය ජේසුස් වහන්සේගේ රුධිරය සේ ම උත්තරීතර වේ – එමෙන් ම අතිශය සරාගී ද වේ” : මැරබල් මෝගන්.3) ප්‍රතිසංස්කාරකයොයි රජ මැස්සියොයි පිරිමින්ව අනුකරණය කරන්නත් තමන්ට මාසික චක්‍රයක් තියෙන බව මවාපාන්නත් උත්සාහ කරාවි. ගැහැණුන් ඔසප් ඊර්ෂ්‍යාවේ බැමිවලින් මිදෙන්න අවශ්‍ය වගේ ම පිරිමිනුත් කුජ උත්සන්නිය (Martian aggressiveness) නමැති වැරදි අදහසින් විමුක්ත විය යුතු වග සියලු ස්ත්‍රීවාදියෝ කෙළවරක් නැතුව පැහැදිලි කරාවි. ඔසප් නොවන්නන්ට එරෙහි පීඩනය අන් සකල විධ පීඩනයන්ගේ ආදර්ශය බව රැඩිකල් ස්ත්‍රීවාදියෝ වැඩිදුරටත් ප්‍රකාශ කරාවි. (“රීරි පිසාචයො තමයි අපේ මුල් ම නිදහස් සටන්කාමියෝ!”) සංස්කෘතික ස්ත්‍රීවාදියෝ කලාව සහ සාහිත්‍යය තුළ ලෙයින් තොර සංකල්පරූප ගොඩනඟාවි. පිරිමින්ට ඔසප් රුධිරය පිළිබඳ අධිකාරයක් පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙන්නේ ධනවාදය යටතේ පමණක් වග සමාජවාදී ස්ත්‍රීවාදියෝ අවධාරණය කරාවි.

ඇත්තට ම, පිරිමින්ට ඔසප් වුණොත්, බල සාධාරණීකරණයන් සමහර විට සදහටම පවතීවි.

අපි ඉඩ දුන්නොත්.

– ඇමෙරිකානු ස්ත්‍රීවාදිනියක, මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක වන ග්ලෝරියා ස්ටයිනම් 1978 දී Ms. සඟරාවට රචනා කළ If Men Could Menstruate නමැති රචනාවේ අනුවර්තනයක්. අනුවර්තනය කංචුකා ධර්මසිරි.


සටහන්


  1. පුරුෂ සාද ↩︎
  2. Phyllis Schlafly – ඇමෙරිකානු නීතිඥවරියක්. ඇය නූතන ස්ත්‍රීවාදයේ දැඩි විවේචිකාවක ලෙස ඉස්මතු වූ අතර ERA හෙවත් Equal Rights Amendment නම් වූ ව්‍යවස්ථා සංශෝධනයට එදිරි ව සටන් කළ ක්‍රියාධාරිනියක ද වුණා. ඇය දියත් කළ STOP ERA ව්‍යාපාරය නැඟූ උද්‍යෝග පාඨයක් වුණේ අපේ වරප්‍රසාද අහිමිකිරීමෙන් වළකිනු යන්න යි. ↩︎
  3. Marabel Morgan – විවාහක කාන්තාවන්ට උපදෙස් පොත් ලියූ ලේඛිකාවක්. ↩︎

එංගලන්තය 1819 දී

මහලු, උමතු, අන්ධ, ගර්හිත, මියැදෙන රජෙක්;
කුමාරයින්, මොට වරිගයක කුණු රොඩු,
පොදුජන පරිභවය මැදින් ගලා බසින,
බොර දිය අගලකින් ගත් මඩ;
එල්ලී සිටී උන්ගේ දුබල දේශයේ, කූඩැල්ලන් විලස
ගැලවී වැටෙන තුරු, ලෙයින් අන්ධව, නොලැබ කිසි පහරක්.
ජනතාවක් හාමතේ ලක්වූහ පිහිපහරට, අස්නොවැද්දූ පොළොවක;
හමුදාවක් වීය දෙමුවහත් කඩුවක් බලයේ සිටින උන් හට
නිදහස වනසමින්, ගොදුරු ඩැහැ ගනිමින්;
රන්වන් රත් පැහැති නීති, කුපිත කරවන, නසන වනසන;
ආගම ජේසුගෙන් තොරය, දෙවියන්ගෙන් තොරය,
පුස්තකයකි වසා දැමුණ;
සෙනෙට් මණ්ඩලය, යුගයේ දුෂ්ඨතම පනත, අවලංගු කොට නොමැති,
මේ සොහොන් මත්තෙනි පැනනගිනු ඇත්තේ උත්කෘෂ්ට අවතාරයක්
ආලෝකවත් කරනට, මාරුතයකින් කැලඹුණු අප දවස.

– පර්සි බීෂ් ෂෙලී
පරිවර්තනය : කංචුකා ධර්මසිරි