කලාව තුළ ස්ත්‍රිය සක්‍රීය වීම: නදීකා බණ්ඩාරගේ තෙත් භූමි

– නදීකා බණ්ඩාරගේ “තෙත් භූමි” දෙසැම්බර් 28 දින ප.ව. 7.00 ට කොළඹ නව නගර ශාලාවේදී රඟදැක්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පබ්ලෝ නෙරූඩා ලංකාව ගැන ලියූ මතක අතර මා සෑම විටම අපහසුතාවට ලක්කරන මතකයක් ඇත. ඒ ඔහු තම වැසිකිලි බාද්ලිය සුද්ධ කිරීමට පැමිණි ස්ත්‍රිය පිළිබදව ලියූ කොටසයි. දිගින් දිගටම මෙම ස්ත්‍රිය – අපි ඇගේ නම නොදනිමු – ඉන්දියාවේ ලෝකඩ පිළිමයකට සමාන කරන ඔහු, ඇය පිළිබද විවිධ අනුමානයන් කරයි. ඇයට ගෙනයාම පිණිස තාප්පය අසල සිල්ක් රෙදි සහ පළතුරු තබයි! ඇය ඒවා දෙස බලන්නේ නැත. ඇයව විස්තර කිරීමට ඔහු භාවිත කරන්නේ “ලැජ්ජාශීලී වනයේ සතෙකු,” “අඳුරු පිළිමයක්” වැනි වැකිය. මේවා තුළින් ඇයව සත්වයෙකු සහ භාණ්ඩයක් ලෙස නිර්මාණය කරන අතර එයින් බැහැර වන්නේ ඇගේ මනුෂ්‍යත්වයයි (නෙරූඩාගේ මේ ලියවිල්ල විජිතවාදී කතිකාවක් තුළ ස්ථානගත කළ හැකි අතර ෆ්‍රාන්ට්ස් ෆැනොන් සහ එඩ්වර්ඩ් සයීඩ්ගේ පශ්චාත් විජිත න්‍යායයන් තුළ “අනෙකා” නිර්මාණය වන ආකාරය පිළිබද කරන විචාරයන් හරහා විමර්ශනයට ලක් කළ හැකි වුවත් මේ ලිපියේ අරමුණ එය නොවේ). මෙලෙස විවිධාකාර ලෙස ඇයව විස්තර කරමින්, ඇය පිළිබද යම් ආකාරයක දැනුම් පද්ධතියක් නිපදවමින් නෙරූඩා මෙම ස්ත්‍රිය පිළිබද ඇති පුරුෂ ෆැන්ටසිය තවත් අදියරකට ගෙන යයි:

“එක් දිනක් මම සම්පූර්ණ දුරම යාමට තීරණය කළෙමි. ඇගේ අත තදින් අල්ලා ගත් මම ඇගේ දෙනෙත් දිහා බලා සිටියෙමි. ඇය    සමග කතා කිරීමට මට භාෂාවක් නොවීය. සිනාවක් රහිතව, ඇයව රැගෙන යාමට ඇය ඉඩ දුන් අතර ඉක්මණින්ම ඈ මගේ ඇද උඩ නිරුවත්ව සිටියාය. ඉතාම සිහින් වූ ඇගේ මැණික් කටුව, ඇගේ පූර්ණ උකුළ, පරිපූර්ණ වූ ඇගේ පියයුරු ඇයව දකුණු ඉන්දියාවේ අවුරුදු දහසක් පුරාණ වූ පිළිමයක් බවට පත් කළේය. එය පිරිමියෙකුගේ සහ පිළිමයක එක් වීමක් විය. මුළු කාලය තුළම ඇගේ දෑස් විවෘතව තබා ගත් ඈ කිසිම ආකාරයක ප්‍රතිචාරයක් නොදැක්වූවාය. මා පිළිකුල් කිරීමට ඇයට අයිතියක් තිබිණි. එම අත්දැකීම නැවත සිදු කෙරුණේ නැත.”

නෙරූඩාගේ ලියවිල්ලේ මෙම කොටස සෑමවිටම මා අපහසුතාවට පත් කළේය. මේ ආකාරයේ ප්‍රචණ්ඩ සහ බලහත්කාරී ලිංගික ක්‍රියාවක් රොමෑන්තික ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න මට ප්‍රශ්නයක් විය. විජිතවාදී සන්දර්භයක් තුළ ලාංකීය ස්ත්‍රියක්, කළු සමැති ස්ත්‍රියක්, දෙමළ, අඩු කුලයේ ස්ත්‍රියක් වීම නිසා මේ ස්ත්‍රිය තල ගණනාවකදී පීඩනයට පත්වේ. මේ සියල්ල සිද්ධ වන විටදී නෙරූඩාට අනුව ඇය කිසිවක් නොකියයි, ඇය නිෂ්ක්‍රීයයි. නමුත් පරස්පර විරෝධී ලෙස ඇගේ බලය මතු වන්නේද මේ නිශ්ශබ්දතාව හා නිශ්චලතාව නිසා බව යම් ආකාරයකට පෙනෙන්නේ නෙරූඩා නැවතත් මේ ක්‍රියාව නොකළ බව ප්‍රකාශ කරන බැවිනි. නමුත් තම ප්‍රචණ්ඩ, ලිංගික ක්‍රියාව අලංකාර, කාව්‍යාත්මක වචනවලින් ආවරණය කොට, එය තමාගේ දෛනික ජීවිතයේ එක් කොටසක් ලෙසත් එවැනි සිද්ධියක් සාමාන්‍ය දෙයක් ලෙසත් ඉදිරිපත් කරන ආකාරය ප්‍රශ්නකාරීය. නෙරූඩාගේ කතිකාව ගොඩ නැගෙන්නේ විරෝධය නොදක්වන, නිෂ්ක්‍රීය, නිශ්ශබ්ද, අදුරු පිළිමයක් ලෙස විස්තර කෙරෙන ස්ත්‍රියක් හරහාය. සිය පුරුෂත්වය සහ බලය ඔහු කඩා පාත් කරන්නේ සෑම උදෑසනකම තමාගේ අසූචිවලින් පිරුණු බාල්දිය හිස මත තබාගෙන ගොස් පිරිසිදු කරන කුලයෙන් අඩු සේ සලකන ස්ත්‍රිය මතය.

නෙරූඩාගේ ෆැන්ටසිය ශතවර්ෂ ගණනාවක් පුරා ස්ත්‍රීන් පිළිබදව ලියැවුණු, ඔවුන් පිළිබද නිර්මාණය කෙරුණු කෘති හා චිත්‍ර සමග සම්බන්ධ වේ. වීනස් දෙව් දුවගේ සිට පෝල් ගොගෑන්ගේ ටහීටී ස්ත්‍රීන් දක්වා විහිදෙන්නේ නිෂ්ක්‍රීය ලෙස, අතැම් විට ලැජ්ජාසහගත වසඟකාරිත්වයකින් ප්‍රේක්ෂකයා දෙස බලා සිටින ස්ත්‍රීන්ය (මේ ආකෘතිවලින් පිටත සිටි චිත්‍ර ශිල්පිනීන් සහ ශිල්පීන් සුළුතරයක් ඇත). ස්ත්‍රිය (නිෂ්ක්‍රීය) භාණ්ඩයක් ලෙස, නැරඹීම සදහා (විශේෂයෙන්ම පුරුෂ බැල්ම) සදහා නිර්මිත දෙයක් ලෙස නිර්මාණය කරන කතිකාව අතික්‍රමණය කිරීමටත්, ස්ත්‍රිය සක්‍රීය කිරීමටත් මේ ශතවර්ෂ මුළුල්ලේම විවිධ කලා ශිල්පිනියන් සහ ශිල්පීන් උත්සාහ ගෙන ඇත. 1931 දී නෙරූඩාගේ ලියවිල්ලෙන් අවුරුදු හතළිහක් ඉදිරියට පැමිණ, කැරොලි ශ්නීමන්ගේ කලා කෘති දෙස බලනු කැමැත්තෙමි. චිත්‍ර ශිල්පිනියක් වන ශ්නීමන්, ශත වර්ෂ ගණනාවක් පුරාවට ස්ත්‍රිය නිෂ්ක්‍රීය කර, භාණ්ඩයක් ලෙස නිරූපණය කිරීම ප්‍රශ්නකාරී ලෙස දැක, එය වෙනස් කිරීමට උත්සුක වන්නේ තමන්ගේම ශරීරය කැන්වසය තුළට ඇතුළත් කර ගනිමිනි. එවිට මෙතෙක් කල් කැන්වසයේ පිරිමි බැල්මට ලක් වූ, වසඟකාරී, නිෂ්ක්‍රීය ස්ත්‍රියගේ ස්ථානය ගන්නා ඇය, විවිධ වර්ණ, මඩ ආලේප කරගත් විවිධ වූ දේවල් අලවා ගත් ඇගේ නග්න ශරීරය කැන්වසයේ කොටසක් බවට පත් කරගනිමින් තමාගේ නිර්මාණය නරඹන ප්‍රේක්ෂකයා තම බැල්මට හසු කර ගනී. ඇය තමා දෙස බලන ප්‍රේක්ෂකයා දෙස බලා සිටී. ඇය තවදුරටත් නිෂ්ක්‍රීය නැත, ඇය සක්‍රීයය.

තම කලාකෘති හරහා තමන් කලාකෘතියේ විෂය සේම තේමාව බවටද පත් වන බව මෙහිදී ශ්නීමන් ප්‍රකාශයට පත් කරයි. එවිට ඇගේ කෘතිය චිත්‍රයක් සේම අභිවහන කලාකෘතියක් (performance art) බවටත් පත්වේ. ස්ත්‍රීන් “බැහැර කරවන වියුක්ත ප්‍රකාශනවාදයේ අගනා පෘෂ්ඨවලට මා පහරදුන් විට, මගේ මුළු ශරීරයම කැන්වසය කඩාගෙන සැබෑ කාලය සහ අවකාශය තුළ අනෙක් පසින් මතුවූයේ ක්‍රියාකාරී සහ ක්‍රියාකාරීකරවන ආකෘතියක් ලෙසටය” යන්න ඇය ප්‍රකාශ කරයි. තවදුරටත් ස්ත්‍රිය තමාව නිරූපණය කරන තෙක් බලා සිටිය යුතු නැත. ඇය තමාවම කලාකෘතිය ලෙසත් එහි නිර්මාපකයා ලෙසත් ස්ථානගත කර ගනී. එය සක්‍රීය ක්‍රියාවලියකි.

නදීකා බණ්ඩාරගේ තෙත් භූමි කෘතිය ස්ථානගත කිරීමට සිදු වන්නේ මෙවැනි කලා සන්දර්භයක් තුළය. එය යම් ආකාරයක රංගනයක් වනවා සේම අභිවහන කලාවටද යම් ආකාරයක සම්බන්ධයක් දක්වයි. කැන්වසය කඩාගෙන එය තුළින් මතු වී ප්‍රේක්ෂකයා දෙස තියුණු ලෙස බලා සිටි ශ්නීමන් මෙන්ම නදීකා බණ්ඩාරද ප්‍රේක්ෂකයා දෙස තියුණු බැල්මක් හෙළයි. ඇගේ කෘතිය තුළ ස්ත්‍රියව නොනවත්වා, දීර්ඝ ලෙස ප්‍රචණ්ඩත්වයට ලක්වන ආකාරය නිරූපණය වේ. බලහත්කාරී ලිංගික ක්‍රියාවල සිට, ඔසප් වීම, දරුවන් වැදීම, ගබ්සාවන්  වැනි ස්ත්‍රීන් මුහුණ දෙන අවස්ථා හරහා ප්‍රේක්ෂකයාව ගෙනයයි. එම රංගනය කුරිරුය, ප්‍රචණ්ඩය. කුරිරු රංගය කෘතියේ අන්තොනින් ආර්තෝ මේ ආකාරයේ අදහසක් ඉදිරිපත් කරයි:

කිසිවක් තුළ නොපවතින, නමුත් අංග චලන, ශබ්ද, වචන, විලාප, ආලෝකය, අදුර යන සියලුම දේවල් උපයෝගි කරගන්නා රංගය නැවත තමන් සොයා ගන්නේ මනසට ස්වකීය ප්‍රකාශනයන් එළි දැක්වීමට භාෂාවක් අවශ්‍ය වන මොහොතේදීමය. ජීවිතය ස්පර්ශ කිරීම පිණිස භාෂාව කඩා බිද දැමීම, රංගය නිර්මාණය කිරීමක් සහ ප්‍රතිනිර්මාණයක් වේ.

කුඩා කල සිටම පවුල, පාසැල, විවාහය වැනි හෙජමොනික සමාජ යාන්ත්‍රණ තුළ හසුරවනු ලබන ස්ත්‍රී ශරීර, දරුවන් ලැබීමට රෝහලට යන ස්ත්‍රින්ගේ ශරීර, ගබ්සාවට මුහුණපාන ස්ත්‍රිය, සංස්කෘතික කතිකා තුළත් වැඩිහිටි චිත්‍රපට සහ විවිධාකාර වූ තවත් සමාජයේ යාන්ත්‍රනයන් තුළ ස්ත්‍රියගේ ශරීරය පාලනයට ලක්කළ යුතු, පාලනය කළ යුතු දෙයක් ලෙස නිර්මාණය කෙරෙන, දකින ආකාරය නදීකා පෙන්නුම් කරන්නේ එ්වා වසාගෙන ඇති රොමෑන්තික මානයන් පාසාරු කරමිනි. කුරිරු රංගය කෘතියේ ඇන්තොනින් ආර්තෝ පෙන්වා දෙන පරිදි සංස්කෘතිය සහ සදාචාරයේ ආවරණ ඉරා දමා ඇතුළාන්තයෙන්ම නැගෙන විලාප, චලන සහ හැගීම් සමුදායක් තෙත් භූමි හරහා ඉදිරිපත් කෙරේ. එය “ලස්සන” රංගයක් නොවේ. රුධිරය ගලා යන, කෑ ගැසීම්වලින් පිරි, ස්ත්‍රිය සෑම මොහොතකම මුහුණ පාන ප්‍රචණ්ඩත්වය පිළිබද ප්‍රකාශනයකි. මුල, මැද අග සහිත නාට්‍යයක් නැරඹීම කෙනෙකුගේ අභිප්‍රාය වූයේ නම්, මෙය එම බලාපොරොත්තුව සුන් කරන කෘතියකි.

සමූහ ස්ත්‍රී ලිංගික හිංසනයන් වැඩිහිටි නාලිකා හරහා නරඹන සහ රසවිදින පිරිස් සිටින සන්දර්භයක් තුළ (මේ මස මුලදී ඉන්දියාවේ සිද්ධ වූ දරුණු සමූහ ස්ත්‍රී ලිංගික හිංසනය සහ මිනී මැරීම වැඩිහිටි නාලිකාවල වැඩි වශයෙන් නරඹා ඇති බව වාර්තා වේ), එම හිංසනයන් පුරුෂ ෆැන්ටසියක් බවට පත්වන සන්දර්භයක් තුළ නදීකා ඇතුළු පිරිස එම ෆැන්ටසිය කඩා බිද දමති. ශ්නීමන් කැන්වසය කඩාගෙන ප්‍රේක්ෂකයා දෙස බලා සිටි ආකාරයට, නදීකා නාට්‍ය කලාව සහ අභිවහන කලාව අතර දෝලනය වන “තෙත් භූමි” රංග කාර්යය හරහා නැවත නැවතත් ප්‍රචණ්ඩත්වයට ලක්වන ස්ත්‍රී ශරීරය ප්‍රේක්ෂකයාට සම්මුඛ කරවයි. එය කළුවර ප්‍රේක්ෂකාගාරයක් තුළ පහසුවෙන් අසුන් ගෙන නැරඹිය හැකි රංගනයක් නොවේ. එය සෑම දිනකම ස්ත්‍රිය මුහුණපාන ප්‍රචණ්ඩත්වය සහ නිෂේධනය අත්දැකීමට සිදුවන මොහොතකි. මෙම රංගනය ගැහැණියගේ පැවැත්ම පිළිබදවම ප්‍රශ්නයකි. සමාජ සත්වයෙකු වශයෙන් ඇයව දකිනු ලබන ආකාරය, ඇගේ ශරීරය ප්‍රචණ්ඩත්වයට ලක්වන ආකාරය ගැන අදුරු ප්‍රකාශනයකි. එය සෑම ආකාරයකම පුරුෂ ෆැන්ටසි බිද දමන්නකි. නිෂ්ක්‍රීය කර ඇති, බොහෝ විට දෙවැනි ගණයට දමා ඇති ස්ත්‍රිය ප්‍රේක්ෂකයාට අභිමුඛ කරවීමකි. ලාංකේය නාට්‍ය/අභිවහන කලාව තුළ සිද්ධ කරන පෙරළියකි.

– කංචුකා ධර්මසිරි

ඡායාරූප : ඉෂාරා ධනසේකර